"ආදරේ අද්දර": ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ඔබගේ නිර්මාණත් අපට එවන්න

Roar Media
|
February 7, 2020

ඔබේ නිර්මාණ Roar හි පළකරවා ගන්නට කැමතියි නේද? මේ ‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන් අපි ආදරය ගැන ඔබේ ගද්‍ය හා කාව්‍ය නිර්මාණ බාර ගන්නවා. ඔබට, ඔබේම විදියට ආදරය අර්ථ දක්වන්න මෙය අවස්ථාවක් කරගන්න පුළුවන්. නිසඳැසකින්, හයිකුවකින්, පද්‍යයකින් හෝ ගද්‍යයකින් ආදී ඔබ කැමති ඕනෑම අයුරකින් ඔබේ අදහස ලියා එවන්නත් පුළුවන්.

Roar Showtime යටතේ කෙරෙන මේ අලුත්ම කටයුත්තේ දී ඔබ එවන නිර්මාණ අධීක්ෂණයට ලක්  වෙන්නේ සම්මානිත කවියකු වන ළහිරු කිතලගම අතින්.

නූතන කවිය ඔස්සේ අපට නිතර හමුවෙන චරිතයකි, ළහිරු කිතලගම. ඔහු, කවිය පිළිබඳව නූතන කියැවීමක් සහිත ප්‍රතිභාපූර්ණ තරුණ කවියෙක්. ප්‍රථමයෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයෙන් සාමය හා ගැටළු නිරාකරණය ආශ්‍රිතව කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කරන ඔහු, මේ වන විට එම සරසවියෙන්ම ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි. 2011 වසරේ දී ඔහු, “පිණිදිය වැස්ස” නමින් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත කරයි. ඉන්පසු, වසර 7ක නිහැඩියාවකින් පසුව 2018 වසරේ දී “කවුළු ඇස පාමුල” නමින් තම දෙවැනි කාව්‍ය සංග්‍රහය නිකුත් කරන අතර, එම වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි ‘රජත පුස්තක සම්මානයෙන්’ ද එය පිදුම් ලබනවා. එපමණක් නොව, එකී කෘතිය එම වසරේ ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයට මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මානයට ද නිර්දේශ වනවා.      

- ගූගල් මැප් එකෙත් මං තාම හොයන්නේ නුඹ -

ගූගල් මැප් එකක් තියන්
ස්මාර්ට් ෆෝන් එකකින්
මං හොයන්නේ අකුරුගොඩ
ආදරේ අකුරු ගැලවුණ නුඹේ ගම
කොච්චර දුර උනත්
ඇඟිලි දෙකකින් ළං කරන්න පුළුවන්
දැන් නුඹ සිටින තැන
මේ පේන්නේ නිදන්ගල කඳුවැටිය
කොළ හරිය රබර් වතු වෙන්න ඇති
නුඹෙ හුස්ම තාම එහි රැඳිල ඇති
මේ හරිය අර කෙහෙල් මංඩිය
මනම්පේරි ස්ටෝර්ස් එක වෙන්නැති
නුඹ බස් එකෙන් බහින තැන
පාර කොන තිතක් වෙනකං ම
මම හුස්ම හිරකරගත් තැන
මං ආයෙ ටයිප් කරනවා කොළඹ
කොළඹ සිට අකුරුගොඩට දුර
ඇඟිලි දෙකකින් ළං කරල පෙන්නුවහැකි..
නුඹ දන්නව ද?
ගිනි කූරු දෙක තුනක දුර
අපි ග‍්‍රහ ලෝක තුන හතරක දුර
මේ අර බෝක්කුව වෙන්නැති
අවසන් වරට හඳයන්ගෙ හුරතල් බලපු තැන
අයියගෙ හෙල්මට් පාර වැදුණ තැන
නුඹෙ කඳුළු බෝක්කුවේ ගලනවැති
ඉස්සරත් තිබුණ නම් ස්මාර්ට් ෆෝන්
මැප් එකකින් හරි නුඹ කූඩු කළ තැන
දකින්නට තිබුණ නොවෙ ද?
ඒත් මං ආස වන් වන් සීරෝ නොකියා එකට
දැනුත් ඉඳහිට කොහේ හෝ තැනක
ඒ පැරණි ටෝනය වැදෙන කොට
ඇහෙන්නෙ ම නුඹෙ හිනා කටහඬ

(කවුළු ඇස පාමුල | 23 වන කවිය)”

නිර්මාණ එවන ඔබට මේ කාරණා කිහිපය වැදගත් වේවි;

  • නිර්මාණ බාර ගන්නා අවසන් දිනය: 2020 පෙබරවාරි 14
  • කලින් විස්තර කළා වගේම ඕනම ආකාරයක කෙටි කාව්‍ය හෝ ගද්‍ය රචනා අපි බාරගන්නවා.
  • එක් අයකුට උපරිම වශයෙන් නිර්මාණ දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්.
  • සියලු නිර්මාණ කතුවරයාගේම නිර්මාණ විය යුතු යි.
  • අප විසින් පළ කරනු ලබන්නේ අපට ලැබෙන නිර්මාණවලින්, අපගේ ආරාධිතයා විසින් පළ කිරීම සඳහා තෝරාගනු ලබන නිර්මාණ පමණයි. (ඔබ විසින් එවන සියලුම නිර්මාණ අප අධීක්ෂණය සඳහා යොමු කරන්නේ නිර්නාමික ව යි.)
  • පළ කෙරෙන නිර්මාණවල මුල් නිර්මාණකරුගේ නම අපි සඳහන් කරනවා. ඉතින් ඔබේ ෆේස්බුක් පිටුව, ට්විටර් පිටුව, ඉන්ස්ටග්‍රෑම් පිටුව ආදිය පළ කරන්න කැමති නම් ඒවාත් සඳහන් කරන්න. නිර්නාමික නිර්මාණත් අපි බාර ගන්නවා.
  • මෙම නිර්මාණ පළකිරීමේ අයිතිය Roar Global සතු වනවා. එහෙත් නිර්මාණයේ අයිතිය මුල් අයිතිකරු සතු වනවා.
  • බොහොම වැදගත්: ඔබේ නිර්මාණ කියවන්න අපි සැදී පැහැදී ඉන්නවා. එහෙත් ඒවා මඟින්, ඔබේ හිතේ යම් කෙනෙකු ගැන තියෙන ආදරය ප්‍රකාශ කරන්න යන්න එපා. අපි හිතන හැටියට, එවන් සුවිශේෂී ආදරයක් ප්‍රකාශ කළ යුත්තේ ඒ කෙනාටම යි.

ඔබේ නිර්මාණ showtime@roar.global වෙත එවන්න.

ඔබට ජය!

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles