හරියටම මීට වසරකටත් ටිකක් ඉහත දී Roar අපේ කතාව අප ඔබ වෙත ගෙන ආවා මතක ඇති. Roar පටන් ගත් හැටි, Roar පටන් ගත්තෙ ඇයි? ආදී කාරණා අප මේ වන විටත් ඔබ හා බෙදාගෙන තිබෙනවා.
අදත් ඔබ හා බෙදාගන්නට යමක් Roar අපට තිබෙනවා. උපන්දින සැමරුමක්! Roar අපට අවුරුදුම පහක්!
මීට වසර 5කට පමණ ඉහත දී ලාංකික සයිබර් අවකාශය, දැනුම සපයන අන්තර්ගතයන් අතින් ගත් කල යම් හිඩැසක් පැවතුණා. ගොසිප් ආදිය බෙදා හැරෙන වෙබ් අඩවි හෝ විනෝදය සපයන වෙබ් අඩවි හැරුණු කොට, දැනුමින් සපිරුණු විශ්වාසනීය ලිපි සහිත වෙබ් අඩවි තිබුණේම නැති තරම්. මෙය උසස් තත්ත්වයේ දැනුම සොයන ලාංකික පාඨක ප්‍රජාව මුහුණ දෙන අඩුපාඩුවක් ලෙස සැලකූ රචකයින් සහ කතෘන් පිරිසක් අතින්, මෙම හිස්තැන පිරවීමේ අරමුණෙන් Roar ඇරඹුණේ 2014 දී යි. එය ආරම්භ වුණේ, ඉංග්‍රීසි බසින් පමණක් පුවත් සහ දැනුම සපයන වෙබ් අඩවියක් ලෙස යි. Roar සිංහල නම් ඊට වඩා මඳක් තරුණ යි කියන්නට පුළුවන්. මොකද, අපේ සිංහල අංශයට තවම වයස අවුරුදු 3 යි.
ආරම්භයේ පටන්ම අප ඔබට විවිධාකාරයේ කතන්දර, තොරතුරු, පුවත් ගෙන ආවා. යුද්ධ ගැන, දේශපාලනය ගැන, මිනිසුන් ගැන තොරතුරු ගෙන ආවා. සැඟවී ගිය නගර, ලොව කැළඹූ සිදුවීම්, මිනිසුන්ගේ විශ්වාසයන් ගැන තොරතුරු මෙන්ම ලොව සිදු වූ අමුතු සහ හාස්‍යජනක සිදුවීම් ගැනත්, වැඩිය කතා නොකෙරෙන නමුත් ආශ්වාදජනක මාතෘකා හා බැඳුණු තොරතුරුත් අප ඔබ හා බෙදාහදා ගත්තා. ටිකක් බැරෑරුම් මාතෘකා පිළිබඳව මෙන්ම වඩාත් සරල මාතෘකා ගැනත් අප ලියුවා. ඔය සියල්ලමත් අතරේ සම්ප්‍රදායික මාධ්‍ය කලාවට නව මුහුණුවරක් දෙන්නට Roar සමත් වුණා.
මේ ගමන පුරාවට අපට විවිධ බාධාවන්ට මුහුණ දෙන්නට සිදුවුණා. ඇතැම් විට අප ඉදිරියට සිදුකළ යුත්තේ කුමක් ද යන්න අප, අපෙන්ම ප්‍රශ්න කර ගත්තා. අප සැලසුම් සකස් කළා. සිහින දුටුවා. බලාපොරොත්තු ඇති කර ගත්තා. අද ඔබ දකින, කියවන Roar නිර්මාණය වුණේ අන්න ඒ සියල්ල මධ්‍යයේ යි.
Roar අපට අවුරුදු 5ක් පිරුණු බව අප ඉහත සඳහන් කළා නේ. ඉතින් අප ඒ සංවත්සරය ජුනි 27 දා උත්සවාකාරයෙන් සැමරුවා. අපේ අනුග්‍රාහකයින්, සහෘදයන්, හා මිතුරන් සමග සැමරෙන එම උත්සවය, ඔබත් කැටුව යන අපේ ඉදිරි ගමනට දැමූ නව අඩිතාලමක් බව කිව්වොත් නිවැරදි යි. මෙපමණ කලක් සිදුකළ අයුරින් සහ ඊටත් වඩා සාර්ථකව ඔබත් සමග මේ ගමන යන්නට දැනටමත් අප සැලසුම් කර හමාර යි.
ඉතින් අපටත්, අප සමගම මේ ගමන ආ ඔබටත්, ඉදිරියට එළඹෙන තවත් සාර්ථක වසර 5කට ජය!